2026 වර්ෂය සඳහා වන කොළඹ මහ නගර සභාවේ අයවැය යෝජනා ක්‍රියාත්මක කරමින්, නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල්වල ගුරුවරුන්ගේ මාසික දීමනාව රුපියල් 10,000කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

නගර සභාවේ මුදල් කමිටුවේ අනුමැතිය හිමිවීමත් සමඟ, පෙර පාසල් ගුරුවරයෙකුගේ නව මාසික දීමනාව රුපියල් 30,000 දක්වා ඉහළ යනු ඇත. මෙම වැටුප් වැඩිවීම එළඹෙන පෙබරවාරි මස සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මීට අමතරව, කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ ලියාපදිංචි සියලුම ආගමික දහම් පාසල්වල දරුවෙකුගේ උදෑසන ආහාර වේල සඳහා ලබා දෙන දීමනාව ද ඉහළ දමා ඇත. ඒ අනුව මීට පෙර ලබා දුන් රුපියල් 60ක මුදල, 2026 අයවැය යෝජනා මගින් රුපියල් 40කින් ඉහළ දමා රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.