තුන් ප්‍රයාම ක්‍රීඩා (Triathlon) සඳහා ජනතාව දිරිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමේ අරමුණින්, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ‘IRONMAN 70.3 Colombo’ ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්ව අතර උපායමාර්ගික සහයෝගීතාවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

පසුගිය 21 වනදා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි. 2018 සහ 2019 වසරවල සාර්ථකත්වයෙන් පසුව වසර 07ක (වසර හයක විරාමයකින් පසු) කාලයකින් අනතුරුව, 2026 වසරේදී IRONMAN තරගාවලිය නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා රටවල් 45කට අධික සංඛ්‍යාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහායකයින් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වීමට අපේක්ෂිතය.

දියවැඩියාව සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගවලට විසඳුමක් ලෙස පිහිනීම, පාපැදි පැදීම සහ දිවීම වැනි විඳදරාගැනීමේ ක්‍රීඩා (Endurance Sports) ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණකි. එසේම මෙම සහයෝගීතාව හරහා ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව සහ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රමිතීන් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමටත්, තරුණ ප්‍රජාවට සහ විශ්වවිද්‍යාල සිසුන්ට ස්වේච්ඡා අවස්ථා ලබා දීමටත් සැලසුම් කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ, IRONMAN තරගාවලිය හරහා ක්‍රීඩාව යනු වයස් භේදයකින් තොරව නිරත විය හැකි දෙයක් බව තහවුරු වන බවත්, මෙය ශ්‍රී ලංකාව කෙරෙහි පවතින ජාත්‍යන්තර විශ්වාසය පිළිබිඹු කිරීමක් බවත්ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අච්චුදන්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ප්‍රියන්ත ඒකනායක, Serendib Multisport අධ්‍යක්ෂ රජන් තනනායගම් සහ යසාස් හේවගේ යන පිරිස ද එක්ව සිටියහ.