අනාගතයට ගැළපෙන තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම උදෙසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් විපක්ෂය ගෙන යන වැඩපිළිවෙළ ඉතා පහත් දේශපාලන ක්‍රියාවක් බවත් “අලුත් පියාපත්” සංවිධානය අවධාරණය කරයි.
“යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් තාරුණ්‍යයේ පෙළ ගැස්ම” මැයෙන් අද (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිතයින් මේ බව සඳහන් කළහ.
මෙහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජිකා මොනාශා ඕෂදී පෙන්වා දුන්නේ, ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින අධ්‍යාපන අමාත්‍යවරිය ඉලක්ක කරමින් විපක්ෂය සිදුකරන පහරදීම, කාන්තාව දේශපාලන අරමුණු වෙනුවෙන් අයුතු ලෙස භාවිත කිරීමක් බවයි.
මොඩියුල ක්‍රමය මගින් අනාගත අවශ්‍යතා වෙනුවෙන් දරුවන් පෙළගැස්වීම කාලීන සමාජ අවශ්‍යතාවක් බව පෙන්වා දුන් එම සංවිධානයේ නියෝජිත මනෝජ්, දෙමාපියන් සහ ගුරුවරුන් මේ පිළිබඳව විමසිලිමත්ව සොයා බැලිය යුතු බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ මෙහෙයුම් කමිටු සාමාජික සචිත් රුක්ෂාන් අවධාරණය කළේ, විපක්ෂයේ වගකීම විය යුත්තේ අඩුපාඩු ඇත්නම් ඒවා පෙන්වා දීම මිස දරුවන්ගේ අනාගතය බිල්ලට දෙමින් පටු දේශපාලනයක නිරත වීම නොවන බවයි. මෙම ප්‍රතිසංස්කරණ කල් දැමීම හරහා රටේ අනාගතය වසර ගණනකින් ආපස්සට යන බව පෙන්වා දුන් ඔහු, විපක්ෂයේ විරෝධතා නොතකා රටේ අවශ්‍යතාව වෙනුවෙන් වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.