ඉතා කුඩා කල්ලියකට රටේ අනාගතය තීරණය කරන අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ විනාශ කිරීමට ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.
පසුගිය 17 වනදා මහනුවරදී පැවති “අනාගතය ඔබයි – ඉගෙනගන්න – හෙට දිනන්න” අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ කතිකාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි වසර කිහිපය තුළ 7%ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම රජයේ ඉලක්කය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වියට්නාමය සහ චීනය වැනි රටවල් අත්පත් කරගත් වේගවත් සංවර්ධනය කරා යාමට නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නේය. 21 වන සියවසට ඔබින නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් බිහි කිරීම අරමුණු කරගනිමින් 6 ශ්‍රේණියේ සිට හඳුන්වා දුන් විෂය මාලා හරහා දරුවන්ගේ පරිකල්පන ලෝකය පුළුල් කිරීමට ඉඩ ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.
එහෙත් සජිත් ප්‍රේමදාස, විමල් වීරවංශ, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් එක්ව මෙම වැඩෙන දරුවාට විෂබීජ එන්නත් කරමින් සිටින බවට නලින්ද ජයතිස්ස චෝදනා කළේය. 6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ වගකීම් විරහිතව ඇතුළත් කළ එක් වචනයක් අල්ලාගෙන විපක්ෂය සමස්ත ක්‍රියාවලියම “අධ්‍යාපන අසභ්‍යකරණය” ලෙස හුවා දක්වමින් සිටින බවත්, දේදුන්නේ වර්ණ පවා සමලිංගිකත්වයට ඈඳමින් ගම්මන්පිල වැනි අය අර්ථකථන සපයන බවත් ඔහු පැවසීය.
6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ලබන වසර දක්වා කල් දැමීමට රජය තීරණය කළේ මෙම කඩාකප්පල්කාරී වැඩපිළිවෙළ හේතුවෙන් දෙමාපියන් තුළ ඇති වූ සැකය සහ දෙගිඩියාව දුරු කිරීම සඳහා බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. අධ්‍යාපනය වැනි සංවේදී විෂයකදී දරුවන් සහ දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීම අනිවාර්ය බවත්, ඉදිරි මාස කිහිපය තුළ පුළුල් සමාජ සංවාදයක් හරහා මෙම “විෂබීජ” පරාජය කර ප්‍රතිසංස්කරණ ජයග්‍රහණය කරවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
මෙම අවස්ථාවට වරාය හා ගුවන්සේවා අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.