අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජනවාරි 28 වැනිදා යළි කැඳවීමට නියමිතව තිබියදී, ඊට පෙර නීති ක්ෂේත්‍රය තුළ යම් අස්ථාවරත්වයක් ඇති කරමින් ඔහුව ආරක්ෂා කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් දියත් වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.

ගුණරත්න වන්නිනායක, මෛත්‍රී ගුණරත්න සහ සුදර්ශන ගුණවර්ධන ඇතුළු ‘Free Lawyers’ (නිදහස් නීතිඥයෝ) නමින් පෙනී සිටින කණ්ඩායමක් සහ රජිත් කීර්ති තෙන්නකෝන්, ජෝෂප් ස්ටාලින් ඇතුළු පිරිසක් මෙම වැඩපිළිවෙළ පිටුපස සිටින බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලන්ඩන් නුවරට ගොස් අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කාන්තාවක් යොමු කර ඇත්තේ ද මෙම කණ්ඩායම විසින් බවට මේ වන විට තොරතුරු හෙළි වී තිබේ. ඊට අමතරව, නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ ඔහුට දේශපාලන රැකවරණය සැලසීම ද මෙම පිරිසගේ මූලික අරමුණක් වී ඇති බව පැවසේ.

ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ සමයේ විෂමාචාර චෝදනා එල්ල වූ නීතිඥවරයෙකු ඇතුළු පිරිසක් මෙම ‘Free Lawyers’ සංවිධානයට නායකත්වය දීම සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.