විපතට පත් නුවරඑළිය දිස්ත්‍රික්කය යළි ගොඩනැගීම අරමුණු කරගත් “අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම” ඊයේ (16) වලපනේ යොවුන් සේනාංක ක්‍රීඩාංගනයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

වලපනේ, හඟුරන්කෙත, මතුරට සහ නිල්දණ්ඩාහින්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනවාරි 19 වැනිදා දක්වා දින හතරක් පුරා පැවැත්වීමට නියමිතය. මෙම සුවිශේෂී මානුෂීය මෙහෙයුම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි 5,000කට අධික ස්වේච්ඡා පිරිසක් එක්ව සිටීම විශේෂත්වයකි.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය පැවැත්විණි.

මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂය, බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නියෝජනය කරන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඌව පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.