දූෂණ විරෝධී පනත යටතේ ගොනුකර ඇති නඩුවකට අදාළව ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර ප්‍රසන්න රණතුංග අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එහිදී අල්ලස් කොමිසම දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන බවයි.

මෙහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, තම සේවාදායකයාට පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා විදේශගත වීමට ඇති බැවින් ඔහුට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන ලෙස එම කොමිසමේ නිලධාරීන්ට නියෝග කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ආයතනවල සේවකයින්ට වෛද්‍ය රක්ෂණ ලබා ගැනීමේදී, ඍජුව රක්ෂණ සංස්ථාවෙන් ලබා නොගෙන තැරැව්කාර සමාගමක් හරහා කටයුතු කර රජයට රුපියල් ලක්ෂ 47කට අධික පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.