මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධව ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ රජයේ මුදල් අවභාවිතා කර සැඟව සිටි වරදකාරියක අද (16) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාතික ගුවන්තොටුපොළ හරහා දිවයිනට රැගෙන එන ලදී.
ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර පොලිසිය (Interpol) දැනුවත් කර ලබාගත් රතු නිවේදන මත, අබුඩාබි ජාත්‍යන්තර පොලිසිය සහ ඩුබායි පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරුව උදර්පණ නීතිය යටතේ ගොඩනගාගත් ජාත්‍යන්තර සබඳතා හරහා ඔවුන් ශ්‍රී ලංකා පොලිසිය වෙත භාර දීම සිදු කෙරිණි.
මෙලෙස රැගෙන ආ පිරිස අතර කඳාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ද වෙයි. ඔහු 2025 වසරේ ජූලි 03 වන දින මෝටර් රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. අනෙක් සැකකරු ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ඌරස්මංහන්දිය කේන්ද්‍ර කරගත් සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට හඳුනාගෙන තිබේ.
මීට අමතරව, 2024 වසරේදී මෙරට විදෙස් තානාපති කාර්යාලයක සේවය කරමින් රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් සිර දඬුවම් සහ දඩ නියම වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි කාන්තාවක් ද මෙම පිරිස අතර වේ.
මෙම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා කැලණිය සහ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ වෙත භාර දී ඇති අතර, සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දී තිබේ.
විදෙස් රටවල සැඟව සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මේ වන විට රතු නිවේදන 95ක් ලබාගෙන ඇති අතර, එමගින් 2024 වසරේදී සැකකරුවන් 10 දෙනෙකු සහ 2025 වසරේදී සැකකරුවන් 11 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට හැකි වී ඇත.