හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 13 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා නම් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ, සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට බාහිර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර, ඔවුන්ට හිමි වැටුප් සහ දීමනා තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලට බැර කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම යටතේ අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව මේ වන විටත් අධි චෝදනා භාර දී ඇති අතර, ඔවුන් අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියි.