ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්ව අදට (08) වසර 17ක් සපිරේ. ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ ආරම්භක කර්තෘවරයා වූ ඔහු, මෙරට බිහිවූ එඩිතර මාධ්‍යවේදියෙකු, විකාශකයෙකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ද ප්‍රකටය.

1994 – 2009 කාලසීමාව තුළ පැවති රජයන් සිදුකළ ආන්දෝලනාත්මක වංචා සහ දූෂණ ගණනාවක් සම්බන්ධයෙන් කිසිවෙකුටත් යටත් නොවී නිර්බයව කරුණු හෙළිදරව් කළ මාධ්‍යවේදියෙකු ලෙස ඔහු ඉතිහාසයට එක්ව සිටී. 2009 වසරේ ජනවාරි 08 වැනිදා රත්මලාන, අත්තිඩිය ප්‍රදේශයේදී නාඳුනන පිරිසක් විසින් ඔහු අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීය.

මෙම අපරාධය සිදුවී අදට වසර 17ක් ගතවී ඇතත්, දේශපාලන වේදිකාවල ලබාදෙන පොරොන්දුවලට පමණක් සීමා වී ඇති ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ යුක්තිය ඉටුකිරීම, වත්මන් පාලකයින්ට අත්හැරිය නොහැකි වගකීමක් බව සිවිල් සමාජය සහ මාධ්‍ය ප්‍රජාව අවධාරණය කරති.