මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම වඩාත් පුළුල් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ඉන්දික වන්නිනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ද එක්ව සිටියහ.
මෙහිදී අමාත්‍ය ආනන්ද විජේපාල අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීම සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට සමාන්තරව, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කර නිසි පරිදි සමාජගත කිරීමේ ක්‍රියාවලිය ද අත්‍යවශ්‍ය බවයි. ඒ සඳහා රජයේ මධ්‍යස්ථානවලට අමතරව රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලබන පුනරුත්ථාපන මධ්‍යස්ථාන වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට ලක්විය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානවල දායකත්වය වඩාත් කාර්යක්ෂමව ලබා ගැනීම, ක්‍රමවේද හඳුනා ගැනීම සහ ආයතන අතර අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි. මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යය සඳහා තම උපරිම සහාය ලබා දීමට පැමිණ සිටි සංවිධාන නියෝජිතයෝ මෙහිදී එකඟතාව පළ කළහ.