මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සභාවේ සභාපති කසුන් මුණසිංහ අද (02) මතුගම පොලිසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබීය.

අද පෙරවරුවේ ලේකම්වරිය රාජකාරිය සඳහා වාර්තා කළ අවස්ථාවේදී සභාපතිවරයා ඊට බාධා එල්ල කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇය විසින් මතුගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිස් නිලධාරීන් සභාපතිවරයා අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේදී පිරිසක් ඉතා කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් රාජකාරියට ද බාධා එල්ල කර ඇත. මෙම අවස්ථාවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ද ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ රැඳී සිටිනු දක්නට ලැබිණි. සමගි ජන බලවේගය ප්‍රමුඛ කණ්ඩායමක් විසින් බලය හොබවන මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, මීට පෙර ද අදාළ ලේකම්වරියට පහරදීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකාර සභාපති කසුන් මුණසිංහ මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.