හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය (Trial-at-Bar) හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමු වී තිබේ.
නීතිපති පාරින්ද රණසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ සහභාගීත්වයෙන් පසුගිය 22 වැනිදා නීතිපති දෙපාර්තමේන්තුවේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී රජයේ මුදල් අවභාවිත කරමින් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහටත්, ඊට අනුබල දීම යටතේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසකටත් එරෙහිව නඩු ගොනු කිරීමට නියමිතය. හිටපු විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරෙන පළමු අවස්ථාව මෙය බැවින්, එය සුවිශේෂී කරුණක් ලෙස සලකා අගවිනිසුරුවරයාගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටිය යුතු බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙහිදී යෝජනා කර ඇත.
එසේම, වැලිගම ‘W15’ හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ද ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීමට යෝජනා වී තිබේ. මේ සම්බන්ධයෙන් දෙසැම්බර් 15 වනදාට පෙර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුහාන් අබේවික්‍රම වෙත උපදෙස් ලබා දී ඇත.
නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර පැවති මෙම හමුවේදී පසුගිය කාලයේ ආන්දෝලනයට ලක්වූ, එහෙත් නඩු පැවරීමක් සිදු නොවුණු හෝ ඉල්ලා අස්කර ගත් සිද්ධීන් 06ක් ඇතුළුව සිද්ධීන් 65ක ප්‍රගතිය සමාලෝචනය කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ විමර්ශන ගොනු නීතිපතිවරයා වෙත භාර දී ඇති අතර, මසක් ඇතුළත මේ පිළිබඳ වැඩිදුර පියවර ගැනීමට තීරණය කර ඇත.
මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පොලිස් ප්‍රධානීන් ද එක්ව සිටියහ.