2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝ ගම’ අරගලකරුවන්ට එල්ල වූ පහරදීම වැළැක්වීමට ක්‍රියා නොකළ බවට චෝදනා කරමින්, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය ඊයේ (18) තීන්දු කළේය.
සෙයියදු මවුලානා නමැති අරගලකරුවා විසින් ගොනු කර තිබූ මෙම පැමිණිල්ල 2022.12.02 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන අයැදුම්පත විභාග කළ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න, මහෙස්ත්‍රාත් අධිකරණයේ පූර්ව නියෝගය අහෝසි කරමින් අදාළ පැමිණිල්ල වහාම නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් නැවත සලකා බලන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ, අධිකරණයක් හමුවට ඉදිරිපත් වන පැමිණිල්ලක් නිසි ක්‍රියාපටිපාටියට අනුව සලකා බැලීම අධිකරණයේ වගකීමක් වුවද, ඉදිරිපත් වූ ලේඛන සහ සාක්ෂි අනුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම වගකීම ඉටු කර නොමැති බව නිරීක්ෂණය වන බවයි.
පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් රාජකාරිය පැහැර හැර ඇති බවට දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබූ අතර, පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ අචලා සෙනවිරත්න පෙනී සිටියාය. මෑත කාලීනව අධිකරණ තීන්දු සම්බන්ධයෙන් වැරදි අර්ථකථන සමාජගත කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්, දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි පැමිණිලි සම්බන්ධයෙන් මීට පෙර ලබා දුන් තීන්දුවක් ද එලෙස විකෘති කර ප්‍රචාරය කර තිබූ බවත් මෙහිදී අනාවරණය විය.