දිට්වා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රට යළි ගොඩනැගීම සඳහා හදිසි ආධාරයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 120ක මුදලක් ලබා දීමට ලෝක බැංකු සමූහය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කර ඇත්තේ, මෙම ව්‍යසනය හමුවේ ශ්‍රී ලාංකිකයන් පෙන්නුම් කළ ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ජීවිත බේරා ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් සඳහා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග ඇගයීමට ලක් කරන බවයි.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, දැනට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවල අරමුදල් නැවත භාවිත කිරීම හරහා මෙම මුදල ලබා දීමට නියමිතය. සුළි කුණාටුවෙන් දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය, ජලය, අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම අරමුදල් යෙදවෙනු ඇත.

මීට අමතරව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සැපයුම් වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල රැකියා උත්පාදනය සහ ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් පෞද්ගලික අංශයට අවශ්‍ය උපදේශන සහ ආයෝජන සහාය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.