ඛනිජ තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට අත්තනෝමතිකව මැදිහත් වෙමින් රජයට රුපියල් මිලියන 800ක පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද (15) අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග පළමු සැකකරු ලෙසත්, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග දෙවන සැකකරු ලෙසත් නම් කරන බවයි. කෙසේ වෙතත්, අර්ජුන රණතුංග මේ වන විට විදේශගතව සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව ද කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර සිටි පළමු සැකකරු වන ධම්මික රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කරුණු දක්වමින්, තම සේවාදායකයා විමර්ශනවලට සහාය දක්වන බැවින් ඇප පනත ප්‍රකාරව මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ධම්මික රණතුංග රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය. ද්විත්ව පුරවැසියකු වන සැකකරුට විදෙස් ගමන් තහනමක් පැනවූ මහෙස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසට ද දැඩිව අවවාද කළේය.