පසුගියදා ඇති වූ දරුණු නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිවලට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් ඒකාබද්ධව තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඇතුළු පක්ෂ හා සංවිධාන රැසක් දායකත්වය ලබා දේ.
කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී නීති විශාරදයින් 100කගේ පමණ සහභාගීත්වයෙන් පැවති මූලික සාකච්ඡාවකදී තීරණය වී ඇත්තේ, ආපදාව හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් පෙත්සම්කරුවන් ලෙස යොදා ගනිමින් මෙම නඩුව ගොනු කිරීමටයි. ආපදා තත්ත්වය කල්තියා කළමනාකරණය නොකිරීම මානව සංහතියට එරෙහිව කළ අපරාධයක් ලෙස සලකා බරපතළ චෝදනා යටතේ මෙම නඩුව ගොනු කිරීමට නියමිතය.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යවරයා, සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්, අදාළ රාජ්‍ය නිලධාරීන් සහ නීතිපතිවරයා නම් කිරීමට නියමිතව තිබේ. විශේෂත්වයක් වන්නේ මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටීම සඳහා පළාත් නවයම නියෝජනය කරමින් නීතිඥවරුන් 1500ක පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටීමයි.