විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් (LTL) සමාගමේ ඇතැම් නිලධාරීන්, මූල්‍ය අපරාධ වසන් කිරීම සඳහා විගණකාධිපතිවරයාට සිය විගණන කටයුතු සිදුකිරීමට ඉඩ ලබා නොදීමේ කූට උපක්‍රමයක් ගෙන ගොස් ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය වී තිබේ.

මෙම සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වයක් රජය සතු වුවද, එහි විගණන කටයුතු සඳහා රජයේ විගණකාධිපතිවරයාට මැදිහත් වීමට ඉඩ නොදීම මගින්, සිදුවී ඇති මූල්‍ය අක්‍රමිකතා සැඟවීමට උත්සාහ දරා ඇති බවට කෝප් කමිටුව හමුවේ කරුණු හෙළි විය.

මීට පෙර, 2015 – 2019 කාලසීමාවේදී පැවති කෝප් කමිටුව විසින්ද, මහජන මුදල් රුපියලක් හෝ යොදවා ඇති ඕනෑම ආයතනයක් විගණනය කිරීමේ බලය සහ වගකීම විගණකාධිපතිවරයාට ඇති බවට පැහැදිලිව පෙන්වා දී තිබිණි.

එසේ තිබියදීත්, මෙම සමාගමේ නිලධාරීන් විසින් විගණකාධිපතිවරයාගේ මැදිහත්වීම වැළැක්වීමට විවිධ උපක්‍රම යොදා තිබීම, සිදුවී ඇති මූල්‍ය අපරාධවල බරපතලකම පිළිබඳව බරපතල සැකයක් මතු කරන්නක් බව කෝප් කමිටුව පෙන්වා දෙයි.