මෙවර ඉදිරිපත් කිරීමට නියමිත 2026 අයවැය, ශ්‍රී ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය වනු ඇති බවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විශ්වාසය පළ කරයි.
පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමන්ත විද්‍යාරත්න මේ බව පැවසීය.
“අයවැය රහස් කියන්නේ මුදල් ඇමතිතුමා වන ජනාධිපතිතුමා. නමුත් මෙවර අයවැය වෙනදා වගේ නෙවෙයි. බිම් මට්ටමේ යෝජනා කල්තියා ලබාගෙන, ඒ සියල්ල සලකා බලා සකස් කළ, ගිය වසරට වඩා සරුසාර අයවැයක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.
2025 වසරේදී රජය සුවිශාල වැඩ කොටසක් සිදුකළ බවත්, 2026 වසරේදී ඊටත් වඩා විශාල පිම්මක් පැනීමට සූදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
“මේ අයවැය අපි සූදානම් කරලා තියෙන්නේ බිම් මට්ටමේ ජනතාවට සහන සලසන්න. ගම්වල පාරවල් හදන්න, නිවාස හදලා දෙන්න, ස්වයං රැකියා සඳහා ආධාර දෙන්න, කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරයට අතහිත දෙන්න අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම, වතු කම්කරු ජනතාවගේ වැටුප් අනිවාර්යයෙන්ම වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවද සමන්ත විද්‍යාරත්න මෙහිදී අවධාරණය කළේය.