පොලීසිය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර, රේගුව සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක ඉහළ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මෙම ආයතනවල ඇතැම් ඉහළ නිලධාරීන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අතර සමීප සබඳතා පැවති බවට තොරතුරු අනාවරණය වීමත්, ඒ පිළිබඳව කොමිසමට නිරන්තරයෙන් පැමිණිලි ලැබීමත් මෙම කඩිනම් විමර්ශනයට හේතු වී ඇත.
විශේෂයෙන්ම, යුද හමුදාවේ සහ පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන් අපරාධ කණ්ඩායම් සමග ඍජු සබඳතා පැවැත්වූ බවට ලැබී ඇති පැමිණිලි මත, දැනටමත් අභ්‍යන්තර විමර්ශන ආරම්භ කර ඇති බවද කොමිසම සඳහන් කරයි.
කොමිසමේ ඉහළ නිලධාරියෙකු පැවසුවේ, වාර්ෂිකව වත්කම් බැරකම් ප්‍රකාශ විමර්ශනය කිරීමට අමතරව, මෙම විශේෂ විමර්ශනය මගින් දූෂණය නමැති වරද සිදුවී ඇත්දැයි ගැඹුරින් සොයා බලන බවයි.
විමර්ශනයේ මූලික අදියරේදී පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ වත්කම් ලිපිගොනු අධීක්ෂණය කෙරෙන අතර, අනතුරුව එය පහළ නිලයන් දක්වා ව්‍යාප්ත කිරීමට නියමිතය. පසුව, ආදායම් උපදවන සහ මහජනතාව සමග සෘජුව ගනුදෙනු කරන තවත් රාජ්‍ය ආයතන රැසක්ද මෙම විමර්ශනයට ලක්වනු ඇත. මෙම කටයුතු සඳහා කොන්ත්‍රාත් පදනම මත නව කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමටද කොමිසම පියවර ගනිමින් සිටී