පසුගිය කාලයේ ඉහළ පෙළේ ප්‍රභූන්ට වෙන්කර තිබී, මේ වන විට රජයට භාරදී ඇති කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හතරක, නව මහාධිකරණ හතරක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ අමාත්‍ය විජිත හේරත් ඊයේ (28) ප්‍රකාශ කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මේ බව සඳහන් කළේය.

“පසුගිය කාලයේ සිදුවූ වංචා, දූෂණ සහ අපරාධ සම්බන්ධ නඩු විභාග කිරීමේදී ප්‍රමාදයක් පවතිනවා. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ යටිතල පහසුකම් නොමැතිවීමයි. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා, නව මහාධිකරණ හතරක් ආරම්භ කිරීමට රජය තීරණය කළා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, පහත සඳහන් ලිපිනයන්හි පිහිටි, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් ගොඩනැගිලි මෙම නව මහාධිකරණ සඳහා යොදා ගැනීමට නියමිතය:

  • අංක බී 88, ග්‍රෙගරි පාර, කොළඹ 07
  • අංක සී 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
  • අංක බී 108, විජේරාම පාර, කොළඹ 07
  • අංක බී 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07

මෙම පියවර මගින්, නඩු විභාග කඩිනම් කර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට අපේක්ෂා කරන බවද විජිත හේරත් සඳහන් කළේය. මෙම නව මහාධිකරණ සඳහා අවශ්‍ය විනිසුරුවරුන් සහ කාර්ය මණ්ඩලය, අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ අමාත්‍යාංශය හරහා පත්කිරීමට නියමිතය.