වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක්, දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියේ වැඩිදුර විමර්ශන කටයුතු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) වෙත භාරදී ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂිත පොලිස් ඒකක 10කින් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබිණි. ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස, ඊයේ අලුයම අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීමෙන් පළාගිය ප්‍රධාන වෙඩික්කරු, පසුව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මහරගම, නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවය සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් මෙම ඒකාබද්ධ මෙහෙයුම සඳහා එක්ව සිටියහ.

වැටලීම් සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 12කට අධික මුදලක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ සහ අපරාධය සඳහා යොදාගත් එක් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය 22 වනදා වැලිගම ප්‍රාදේශීය සභා කාර්යාලය තුළදීම ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කර තිබිණි.