වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් ‘මිදිගම ලසා’ ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකය, මේ වන විට බන්ධනාගාරගතව සිටින ‘මිදිගම රුවන්’ නැමැති පාතාල කල්ලි සාමාජිකයා වෙත යොමුවී තිබේ. ඝාතනයට ලක්වූ සභාපතිවරයා විසින් ලබාදුන් ඔත්තුවක් මත ‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගැනීම, මෙම ඝාතනයට හේතු වූ පළිගැනීම බවට පොලීසිය ප්‍රධාන වශයෙන් සැක කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 04ක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ. විමර්ශන සඳහා ප්‍රදේශයේ සීසීටීවී කැමරා 50කට අධික සංඛ්‍යාවක දර්ශන මේ වන විට පරීක්ෂාවට ලක් කරමින් පවතී.
වෙඩික්කරු සහ යතුරුපැදිකරු, ප්‍රහාරයෙන් අනතුරුව මාතර දෙසට පළා ගොස් ඇති බවටත්, අතරමගදී ඔවුන් වෙන් වෙන්ව යතුරුපැදි දෙකක ගමන් කර ඇති බවටත් පොලීසිය සැක පළ කරයි.
පොලීසිය වැඩිදුරටත් සැක පළකරන්නේ, ඝාතනය පිළිබඳ චෝදනාවලින් ගැලවීම සඳහා සූක්ෂම සැලසුමක් ක්‍රියාත්මක වී ඇති බවයි. ඝාතනය සිදු වූ දිනයේම, ප්‍රධාන සැකකරු වන ‘මිදිගම රුවන්’ අධිකරණ කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගොස් තිබීම, තමන් සිද්ධියට සම්බන්ධ නැති බවට පෙන්වීමේ උත්සාහයක් විය හැකි බවට විමර්ශන කණ්ඩායම් විශ්වාස කරයි. මීට පෙර ‘මිදිගම රුවන්’ට අයත් ගිනි අවි 04ක් සොයාගැනීමට ඔත්තුව ලබාදී ඇත්තේ ඝාතනයට ලක්වූ සභාපතිවරයා බවට තොරතුරු වාර්තා වීමත් සමග, ඔහු දැඩි වෛරයකින් පසුවී ඇති බවද පොලීසිය පවසයි.