පසුගිය කාලයේ පැවති දේශපාලන සහ ආර්ථික අර්බුද හේතුවෙන් අතරමග නැවතී ඇති කෘෂිකර්ම සහ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති, පවතින ගැටලු නිරාකරණය කරගනිමින් නියමිත කාලසීමාවන් තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති පහක ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (22) ගොවිජන මන්දිරයේදී එක්වෙමිනි.
මෙහිදී මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන (MWSIP) පිළිබඳව විශේෂ අවධානයක් යොමු වූ අතර, 2016 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ සහ රජයේ අරමුදල්වලින් ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට ළඟා කරගෙන ඇත්තේ 30%ක ප්‍රගතියක් පමණක් බව අනාවරණය විය. ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ අවශ්‍ය වන අතර, එම අරමුදල් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග සාකච්ඡා කරමින් පවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ උතුරු මැද පළාත් ඇළ යකල්ල දක්වා දීර්ඝ කර, එමගින් උස් බිම් හෙක්ටයාර් 5000ක අපනයනය ඉලක්ක කරගත් පලතුරු වගා කිරීමටද සැලසුම් කර තිබේ.
“පැවති දේශපාලන තත්ත්වයන් මත ව්‍යාපෘති අතරමග නැවතුණත්, විශාල මුදල් විනාශ කිරීම වත්මන් රජයේ අරමුණ නොවෙයි. ඒ නිසා පවතින ගැටලු විසඳාගෙන, නියමිත කාලයට වැඩ අවසන් කරන්න,” යැයි අමාත්‍ය ලාල්කාන්ත මහතා මෙහිදී දැඩිව උපදෙස් දුන්නේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් එක්ව සිටියහ.


