2026 අයවැය යෝජනාවක් ක්‍රියාත්මක කරමින්, තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීල මාතාවන් ලක්ෂ 7කට අධික පිරිසකට පාවහන් යුගලයක් ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීමට රජය තීරණය කර ඇති බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ අමාත්‍යවරයා, මෙම වවුචර්පත්, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කර ඇති ‘තිළිණපත්’ ජංගම දුරකථන මෘදුකාංගය හරහා පරිලෝකනය කළ හැකි QR කේතයක් සහිතව, ආරක්ෂිතව මුද්‍රණය කර බෙදා දීමට නියමිත බවද සඳහන් කළේය.
මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ හිමිවන ප්‍රධාන කාණ්ඩ පහත පරිදි වේ:
- සමස්ත දිවයිනේම ශිෂ්‍ය සංඛ්‍යාව 250ට අඩු පාසල්වල සිසුන් – 644,000
- ශිෂ්‍ය සංඛ්‍යාව 251-500 දක්වා වන වතු පාසල්වල සිසුන් – 53,093
- විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ පාසල් 30ක සිසුන් – 2,300
- තෝරාගත් පිරිවෙන් ගිහි/පැවිදි සිසුන් – 30,000
ඒ අනුව, මුළු ප්‍රතිලාභීන් සංඛ්‍යාව 729,393ක් වේ. 2025 පාසල් වාරය අවසන් වන විට මෙම වවුචර්පත් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.