ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර අලුත්ගම පොලීසියේ සේවය කළ කොස්තාපල්වරයා, ඔහුට නවාතැන් දීමට උදව් කළ ඔහුගේ බිරිඳගේ මව සහ දොඩංගොඩ සහ මිද්දෙණිය ප්‍රදේශවල ඇයට නවාතැන් දුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකුද වන බව පොලීසිය පවසයි.

මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින ඉෂාරා සෙව්වන්දි, මෙම ඝාතනයට තමන් සම්බන්ධ වූ ආකාරය පිළිබඳව තොරතුරු රැසක් හෙළිකර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ විසින් මෙම ඝාතනය සැලසුම් කළ බවත්, වෙඩික්කරු වූ සමිඳු දිල්ෂාන්ව තමන්ට හඳුන්වා දුන්නේ ඔහු බවත් ඇය පවසා ඇත. “කොහොම හරි ඌව අන්දගෙන ඌ ලවා වැඩේ කරගන්නා ලෙස” පද්මේ තමන්ට පැවසූ බවත්, ඔහු සමග පැවති හිතවත්කම නිසා මෙම ඝාතනය සඳහා තමන් මුදල් ලබා නොගත් බවත් ඇය පාපොච්චාරණය කර තිබේ.

ඝාතනය සිදු වූ පෙබරවාරි 19 වනදා රාත්‍රියේම වැලිපැන්න ප්‍රදේශයේ සැඟවී, පසුව දොඩංගොඩ නිවසක මාස එකහමාරක් පමණ රැඳී සිටි බවත්, එතැන් සිට මිද්දෙණියට සහ පසුව යාපනයට පලා ගිය බවත් ඇය හෙළිකර තිබේ. පොලිස් නිලධාරීන් අලුත් අවුරුදු සහ මැතිවරණ රාජකාරිවල නිරතව සිටි දින තෝරාගෙන තමන් ස්ථාන මාරු වූ බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.