“මත්ද්‍රව්‍යයෙන් තොර දේශයක්” ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසන පළමු ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය අද (16) වැලිකන්දේදී විවෘත විය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ආරාධනයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.

මෙම නව වැඩපිළිවෙළ, මෙතෙක් අධිකරණ නියෝග මත පමණක් පුනරුත්ථාපනය සිදුකළ පුනරුත්ථාපන කාර්යාංශයේ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මින් ඉදිරියට, මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට සිය කැමැත්තෙන්ම ඉදිරිපත්ව, සිය ආකල්ප සහ කුසලතා වර්ධනය කර ගනිමින් නව ජීවිතයක් ආරම්භ කිරීමට අවස්ථාව හිමිවේ.

වැලිකන්ද, නව සේනපුර, නවෝදා තෘතීයික හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව, එහි ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ලක් ද කථානායකවරයා අතින් විවෘත කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපති මහාචාර්ය වසන්තා සුභසිංහ, පොලොන්නරුව දිසාපති ඊ. එම්. ඩී. එස්. ඒකනායක, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්. එස්. අමිත් යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.