සිය මෑතකාලීන චීන සංචාරය නිමවා පෙරේදා (14) දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද (15) නවදිල්ලි නුවර බලා පිටත්ව ගියාය.

නවදිල්ලි නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරිය, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය දේශපාලන නායකයින් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.

සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස, අග්‍රාමාත්‍යවරිය ‘2025 NDTV ගෝලීය සමුළුවේ’ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අධ්‍යාපනය, නවෝත්පාදනය සහ තාක්ෂණික සහයෝගීතාව පුළුල් කරගැනීමේ අරමුණින්, දිල්ලි නුවර පිහිටි ඉන්දීය තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog පර්යේෂණ ආයතනය නැරඹීමටද ඇය අපේක්ෂා කරයි. දිල්ලි හින්දු විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අග්‍රාමාත්‍යවරිය, තම පැරණි විද්‍යාලය නැරඹීමටද මෙම සංචාරය අතරතුර කාලය වෙන්කරගෙන තිබේ.

මීට අමතරව, දෙරට අතර වාණිජ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම ඉලක්ක කරගත් ව්‍යාපාරික වැඩසටහනකටද ඇය සහභාගී වීමට නියමිතය. මෙම සංචාරය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරන්නක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.