විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට ආණ්ඩුව ගත් තීරණය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් රට වටා ගොස් මහපාරට බසින බවට කළ දැඩි බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
මහනුවරදී පැවති හමුවකදී ඔහු මේ බව පැවසුවේ, එම තීරණය පිළිබඳව මහජන උපයෝගීතා කොමිසමට සිය ස්තූතිය පුද කරමිනි.
“විපක්ෂයේ කාර්යභාරය තරු පහේ හෝටල්වල සිට සාකච්ඡා කිරීම නොව, ජනතාව වෙනුවෙන් සැබෑ වගකීම ඉටු කිරීමයි. ආණ්ඩුවේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා,” යැයි ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, විදුලි බිල වැඩිවීම මාස 3කට අත්හිටුවීම පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, පසුගිය මැතිවරණ වේදිකාවලදී පොරොන්දු වූ පරිදි විදුලි බිල 33%කින් අඩු කළ යුතු බවට රජයට අභියෝග කළේය. “රුපියල් 9000 බිල 6000 දක්වාත්, 3000 බිල 2000 දක්වාත් අඩු කළ යුතුයි. එසේ නොකළහොත්, ජනතාව සමග මහපාරට බැස අරගල කරනවා,” යැයි ඔහු පැවසීය.
වත්මන් ආණ්ඩුව, පසුගිය රජයේ IMF ගිවිසුම වෙනස් කරන බවට පොරොන්දු දී බලයට පැමිණියද, අද වන විට එම පොරොන්දු අමතක කර “IMF එකේ වහලෙකු” බවට පත්වී ඇති බවටද විපක්ෂ නායකවරයා චෝදනා කළේය.
වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ, සමගි ජන බලවේගය මෙරට විපක්ෂයක් ලෙස දැවැන්ත කාර්යභාරයක් ඉටුකර ඇති බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.