හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකරමින්, නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

මෙම සංශෝධනය යටතේ, දැනට සිටින අමාත්‍යවරුන් දෙදෙනෙකුගේ විෂය පථයන් වෙනස් වී ඇති අතර, එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව, බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙසත් නව පත්වීම් ලැබූහ.

මීට පෙර ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා විෂයයන් ඉවත් කර, ඒ වෙනුවට නාගරික සංවර්ධන විෂය පථය එක් කර තිබේ. නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක මහතාට, බිමල් රත්නායක මහතාගෙන් ඉවත් වූ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය හිමිවිය. අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත් වූ ඉදිකිරීම් සහ නිවාස විෂයයන්, කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කෙරුණු වෛද්‍ය එච්. එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.

අද දිවුරුම් දුන් නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනා සහ ඔවුන්ගේ විෂය පථයන් පහත පරිදි වේ:

  • ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන
  • ටී. බී. සරත් – නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන
  • එම්. එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු
  • එරංග ගුණසේකර – නාගරික සංවර්ධන
  • වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය
  • අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග
  • එච්. එම්. දිනිදු සමන් කුමාර – තරුණ කටයුතු
  • යු. ඩි. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන
  • ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න – ජනමාධ්‍ය
  • අයි. එම්. එම්. අර්කම් – බලශක්ති