හිටපු ඛනිජතල් සම්පත් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රයක් අද (01) කොළඹ මහාධිකරණය හමුවේ භාරදෙන ලදී.

2014 වසරේ දෙසැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය සඳහා ආධාර සැපයීමේ මුවාවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම චෝදනා ගොනුකර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වූ අතර, මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය මගින්, හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව කියන අනුර සෙනෙවිරත්න නැමැත්තා ද නව විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති බව පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව, නව විත්තිකරුට චෝදනා භාරදීම සඳහා නඩුව ඔක්තෝබර් මස 29 වනදා යළි කැඳවීමට මහාධිකරණය නියම කළේය.