යම් පොලිස් කොට්ඨාසයක් සිය බල ප්‍රදේශයේ වැටලීම් සිදු නොකරන්නේ නම්, එම ස්ථානාධිපතිවරයාට නොදන්වා වෙනත් කොට්ඨාසයක පොලිස් කණ්ඩායමක් යොදවා එම වැටලීම් සිදුකරවීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරයි.

එවැනි වැටලීම් කිහිපයක් සිදුවීමෙන් පසු අදාළ ස්ථානාධිපතිවරයාට සිය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

දිගින් දිගටම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලීසිය විමර්ශන සිදු නොකරන්නේ නම්, මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට (CCIB) හෝ වෙනත් අපරාධ කොට්ඨාසයකට, අදාළ ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමකින් තොරව එම ප්‍රදේශයේ විමර්ශන සිදුකිරීමට පූර්ණ බලය පවරා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලාන දූෂණ මර්දන ඒකකය දැනටමත් මෙම ක්‍රියාවලිය සාර්ථකව සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

“පොලීසියට මත්ද්‍රව්‍ය ගැන තොරතුරු දුන් විට, ඒවා ජාවාරම්කරුවන්ට යනවා කියා සමාජයේ මතයක් තිබෙනවා. අපි ඒ මතය දැන් අවසන් කරමින් සිටිනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, මහජන විශ්වාසය යළි ගොඩනගමින් සිටින බව අවධාරණය කළේය.

පසුගිය වසර තුළ සිදුකළ වැටලීම්වලින් මත්ද්‍රව්‍ය ටොන් 22ක් සහ නීති විරෝධී ගිනි අවි 2,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම මෙහෙයුම් සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවත්, මහජනයා ලබාදෙන තොරතුරු මත පොලීසිය කඩිනමින් ක්‍රියා කළ යුතු බවත් වැඩිදුරටත් කියා සිටියේය.