මිද්දෙණිය ප්‍රදේශයේ තිබී සොයාගත්, මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු ආන්දෝලනාත්මක කන්ටේනර් දෙක, “තාක්ෂණික දෝෂයක්” හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පිළිගෙන තිබේ.
ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා හෙළිදරව් කළේ, මෙම බහාලුම් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වරායට පැමිණි බවත්, ඒ පිළිබඳව ඇමරිකානු මත්ද්‍රව්‍ය මර්දන ඒකකයකින් ශ්‍රී ලංකාවට තොරතුරු ලැබී තිබූ බවත්ය.
කෙසේ වෙතත්, එම තොරතුරු මත සිදුකළ මූලික පරීක්ෂණවලදී, අදාළ රසායනික ද්‍රව්‍යවල මත්ද්‍රව්‍යමය අන්තර්ගතයක් අනාවරණය වී නොමැත. එම පරීක්ෂණ වාර්තා මත පදනම්ව, රේගුව විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී බහාලුම් දෙක නිදහස් කර ඇත.
“මුල් පරීක්ෂණ ආයතනය සම්බන්ධයෙන් තාක්ෂණික දෝෂයක්ද, වෙනත් හේතුවක්ද යන්න පිළිබඳව දැන් පරීක්ෂණ පවත්වනවා,” යැයි පැවසූ අමාත්‍යවරයා, දෙවන වර සිදුකළ පරීක්ෂණවලදී ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු වූ බවද සඳහන් කළේය.
මේ අතර, මතුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේ, වත්මන් රජය යටතේ වරාය සහ ගුවන්තොටුපළ, රටට මත්ද්‍රව්‍ය ඇතුළු වන ප්‍රධාන මධ්‍යස්ථාන බවට පත්ව ඇති බවයි.