නේවාසික රෝගියෙකුට වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට අදාළ නඩුවට සිතාසි නිකුත් කර තිබියදීත් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, නාරාහේන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

“ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන් වූ පමණින් ඔවුන් නීතියට ඉහළින් නොසිටින” බවත්, “නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන” බවත් අවධාරණය කරමින්, පැමිණිල්ල සහ අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීම් පිළිගත් මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය මෙම නියෝගය ලබා දුන්නාය.

නිසි පරිදි සිතාසි භාරදී නොතිබූ එක් අධ්‍යක්ෂවරයෙකුට යළි නොතීසි නිකුත් කළ අතර, අධිකරණයේ පෙනී සිටි රෝහල් නියෝජිතයෙකුට සහ සේවිකාවකට නොවැම්බර් 12 වනදා යළි පෙනී සිටින ලෙසට දැඩිව අවවාද කෙරිණි.

මෙම නඩු විභාගය අත්හිටුවන ලෙස ඉල්ලා රෝහල් පාර්ශ්වය විසින් කොළඹ මහාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් මීට පෙර ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, නඩුව නැවත මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුවිය.