පසුගිය පාලන සමයන්හිදී කොන්ත්‍රාත්කරුවන්ට මුහුණ දීමට සිදු වූ කිසිදු ආකාරයක කරදරයක් වත්මන් රජය යටතේ සිදු නොවන බවට වරාය, මහාමාර්ග හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහතික විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2028 වසරේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවට ප්‍රතිඥා දුන්නේය. එමෙන්ම, රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ කොටසේ ඉදිකිරීම් ද මේ වසර තුළදීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
නතර වී තිබූ අනෙකුත් මහාමාර්ග ව්‍යාපෘති පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, “වරාය පිවිසුම් මාර්ගයේ වැඩ 98%ක් අවසන්. එය ලබන වසරේදී ජනතා අයිතියට පත් කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉංගිරිය දක්වා කොටසේ වැඩ ඉතා ඉක්මනින් ආරම්භ කරනවා,” යනුවෙන් පැවසීය.
තවද, වසර 12කින් අලුත්වැඩියා කර නොතිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවත්, උඩුකාව ප්‍රදේශයේ නව සේවා මධ්‍යස්ථානයක් ඉදිකරන බවත් ඔහු අනාවරණය කළේය. ඉදිරි මාස දෙක ඇතුළත කටුනායක සිට මාතර දක්වා එකම ටිකට් පතකින් ගමන් කළ හැකි නව ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, රටට ගැළපෙන ජාතික මහාමාර්ග සැලැස්මක් සකස් කරන බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.