සමගි ජන බලවේගය (සජබ) සමග එක්වීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගත් සියලුම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පනවා තිබූ තහනම් නියෝග ඉවත් කිරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම වැදගත් තීරණයට එළඹ ඇත.

මෙම තීරණය ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි නීතිමය ගැටලු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමටද මෙහිදී පියවර ගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා පැවසුවේ, මෙම තීරණයත් සමග සමගි ජන බලවේගයට එක්වූ සාමාජිකයන්ට යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට පැවති බාධා ඉවත්වන බවයි.

මීට අමතරව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට පොදු සන්ධානයක් වෙනුවෙන් සහයෝගය දැක්වූ සියලු පාර්ශ්වයන්ට ස්තූතිය පළ කිරීමේ යෝජනාවක් ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව සම්මත විය.