ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් සිදුකළ සාර්ථක ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකෙරෙන දැවැන්ත රසායනික ද්‍රව්‍ය තොගයක් සහ අවි ආයුධ සොයා ගැනීමට පොලීසිය සමත්වී තිබේ.

‘බැකෝ සමන්’ නැමැති අපරාධකරුගෙන් ලද තොරතුරු මත ක්‍රියාත්මක වූ පොලීසිය, මිද්දෙණිය, තංගල්ල සහ කඳාන යන ප්‍රදේශවල සඟවා තිබූ මෙම රසායනික ද්‍රව්‍ය තොග සහ විදෙස් රටක නිෂ්පාදිත අත්බෝම්බ ඇතුළු ගිනි අවි සොයාගෙන ඇත. මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

මෙම රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් විසින් මතුකළ ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැහැදිලි කළේ, මීට පෙර ආන්දෝලනයට ලක්වූ බහාලුම් 323 සහ මෙම සිදුවීමට අදාළ බහාලුම් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ප්‍රකාශ කළේ, දීර්ඝ කාලයක් පුරා රට තුළ වර්ධනය වූ අපරාධ සංස්කෘතියේ ප්‍රතිඵල මෙසේ හෙළිදරව් වෙමින් පවතින බවයි. අත්අඩංගුවට ගත් අපරාධකරුවන් දේශපාලනඥයන් සමග පැවැත්වූ සබඳතා පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් සිටින බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සියලු කරුණු පිළිබඳව ගැඹුරු සහ විධිමත් විමර්ශනයක් පවත්වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.