හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන විශේෂ වරප්‍රසාද සහ හිමිකම් අහෝසි කිරීම සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම, නියමිත නීතිමය ක්‍රියාපටිපාටියට අනුකූලව ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද කතානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි.

අහෝසි වන හිමිකම් මොනවාද?

මෙම පනත සම්මත වීමත් සමඟ 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත මුළුමනින්ම අහෝසි වේ. ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට සහ ඔවුන්ගේ වැන්දඹුවන්ට හිමිවන පහත සඳහන් වරප්‍රසාද අහිමි වනු ඇත:

  • නිල නිවාස හෝ ඒ සඳහා වන මාසික දීමනා.
  • මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන පහසුකම් සහ අනෙකුත් සියලු පහසුකම්.
  • හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන මාසික විශ්‍රාම වැටුප.

වරප්‍රසාද අහිමි වන්නේ කාටද?

මෙම නව නීතිය ක්‍රියාත්මක වීමත් සමඟ දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ට ඉහත වරප්‍රසාද සියල්ල අහිමි වනු ඇත. ඊට අමතරව, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාස මහත්මියට හිමි වරප්‍රසාද ද මෙමගින් අහෝසි වනු ඇත.