තමිල්නාඩු නළු සහ දේශපාලනඥ විජේ විසින් කච්චතීව් දූපත ඉන්දියාවට යළි පවරා ගත යුතු බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් දින කිහිපයකට පසු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම විවාදාත්මක දූපතේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

යාපනයේ සුබසාධන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වී සිටි ජනාධිපතිවරයා, සිය සංචාරය අතරතුර ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ද සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් කච්චතීව් දූපත වෙත ගොස් තිබේ. එහිදී දූපතේ සංචාරය කළ ජනාධිපතිවරයා, එහි ස්ථාපිත නාවික හමුදා කඳවුරේ තත්ත්වය නිරීක්ෂණය කර නිලධාරීන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.

මෙම සංචාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජනාධිපති දිසානායක මහතා, කච්චතීව් දූපතේ අයිතිය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය දැඩිව අවධාරණය කළේය.

“කච්චතීව් කියන්නේ ශ්‍රී ලංකාවේම කොටසක්. විදේශීය ආක්‍රමණිකයන්ගෙන් අපේ මුහුදු සීමාව ආරක්ෂා කරගත යුතුයි. මේ දූපත අපේ ධීවරයන්ට ඉතා වැදගත්. අපේ රට, දූපත්, මුහුද සහ අහස අනාගත පරපුර වෙනුවෙන් සුරැකීම මගේ වගකීමක්” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති සංචාරය, තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පීඩාවන්ට ලක්වන බව පවසමින්, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කච්චතීව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස නළු විජේ ඉන්දීය අගමැති මෝදිගෙන් ඉල්ලා සිටීමත් සමඟ උණුසුම් වූ පසුබිමක සිදුවීම විශේෂත්වයකි.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍ය විජිත් හේරත් මහතා ද විජේගේ ප්‍රකාශය හුදෙක් “මැතිවරණ දේශපාලන වාසි සඳහා කරන ප්‍රකාශයක්” ලෙස හඳුන්වමින් එය ප්‍රතික්ෂේප කර තිබුණි. කච්චතීව් ශ්‍රී ලංකාවට අයත් බවට කොළඹ රජයේ ස්ථාවරය නොවෙනස් බව ඔහු එහිදී අවධාරණය කර තිබිණි.