හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප ලබා ගැනීම සඳහා ඔහුගේ නීතිඥයන් ඉදිරිපත් කළ කරුණු අනුව, ඔහුව සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමීමට’ කටයුතු කර ඇති බව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති කේ.ඩී ලාල්කාන්ත පවසයි.


ඒ අනුව, හිටපු ජනාධිපතිට ඇති රෝග සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තා ඇත්ත යැයි පිළිගත් නිසා, අධිකරණය විසින් ඇප ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

එම රෝග වාර්තා දෙස බැලීමේදී, හිටපු ජනාධිපතිට අනාගතයේ යම් දේශපාලන බලාපොරොත්තුවක් පැවතුණා නම්, එය නීතිඥවරුන් විසින් සම්පූර්ණයෙන්ම ‘ඉවර කර දැමූ’ බවද, ඔහු ජීවිත කාලයටම ඇඳක් මත සිටිය යුතු පුද්ගලයෙක් බවට පත් කළ බවද ඇමති කේ.ඩී ලාල්කාන්ත පැවසිය.

මේ හේතුවෙන්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් විපක්ෂය පිහිටුවීමට සූදානම් වූ ‘ඒකාබද්ධ විපක්ෂය’ ද සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

”නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට”

නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරන්නේ තහවුරු කළ හැකි සාක්ෂි සහිත සිද්ධීන්වලට අදාල පුද්ගලයින්ට පමණක් බව ද ඇමති ලාල්කාන්ත අවධාරණය කර සිටියේය.

චෝදනා එල්ල වී සිටින ඇතැම් පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ප්‍රමාද වීම සහ ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට බලපා ඇති හේතු මොනවාදැයි මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එබව සඳහන් කළේය.




”රනිල් අත්අඩංගුවට ගත්තේ පළිගැනීමකට නොවෙයි” – ඇමති විජිත හේරත්

මේ අතර විදෙස් සහ සංචාරක කර්මාන්ත අමාත්‍ය විජිත හේරත් කොළඹදී ඊයේ (27) පැවසුයේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නොවන බවයි.

නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් එමගින් උදාවූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව පැවසීය.

“ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම කිසිදු පෞද්ගලික පළිගැනීමක් හෝ දේශපාලන පළිගැනීමක් හෝ ඒකාධිපති ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමක් නෙවෙයි. ව්‍යවස්ථා ඒකාධිපතිත්වයකට යනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ඒ හරහා ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ යුතුයි. ඒවා අපි ඉතිහාසයේ දැක්කා. විසිවන සංශෝධනය සහ ඉන් පසු ඇති කරන ලද සංශෝධනයන් ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයන් දක්වා ගෙනයාමේ අරමුණු ඉලක්ක කර ගනිමින් වෙච්ච දේවල්. මේකෙ එවැනි දෙයක් නෙමෙයි.

මෙවැනි සිදුවීම් ගණනාවක් මේ දිනවල සිදුවනවා. රජයේ නිලධාරීන් දේශපාලනඥයන්ට කියලා තරාතිරම නැහැ. සැමට නිතිය සමානයි.  දැනට රජයේ නිලධාරීන් ලෙස කටයුතු කරන අයත් මෙවැනි චෝදනාවලට ලක්වෙච්ච අයටත් අදාළව නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වීමේ අවස්ථාවක් මේ රටේ ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා. එහෙම නැතුව ඊට අමතර කිසි දෙයක් මෙතන නැහැ. ”