නීතිවිරෝධීව එක්ලස් කර ඇති බවට චෝදනා එල්ලවී ඇති V8 වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබැගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථා 06කදීම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට එම දෙපාර්තමේන්තුව මඟහැර ඇතැයි රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ පසුගිය 03 වනදා දැනුම් දී තිබේ.

ඒ අදාළ නඩුව එදින කැඳවූ අවස්ථාවේදීය.

කොල්ලුපිටියේ ඔහු පදිංචිව සිටින නිවෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම ගිය නමුත් නිවෙස ඉබි යතුරු දමා වසා තිබූ බවත් නීතීඥ ශක්ති ජාගොඩආරච්චි අධිකරණයට දන්වා ඇත.

දිගින් දිගටම විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සුජීව සේනසිංහ සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගත හැකි බවද ඔහු සඳහන් කර තිබේ.

එහිදී සුජිව සේනසිංහ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි අධිකරණයට දන්වා ඇත්තේ තම සේවාදායකයා මේ වනවිට අසනීප තත්වයකට විදේශගතව ප්‍රතිකාර ලබන බවය.

එහෙයින් සති දෙකක කාලයකින් පසුව නඩුව කැඳවන ලෙස හෙතෙම අධිකරණයෙන් ඉල්ලා ඇත.