උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ නොවිසඳුණු ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත්කළ කැබිනට් අනුකමිටුව, අද (දින) බණ්ඩාරවෙලදී ජනතාව හමුවිය.

කමිටු සාමාජිකයන් පළමුව ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර, අනතුරුව බණ්ඩාරවෙල නගර ශාලාවේදී ජනතාවගේ ගැටලු සහ අදහස් විමසා බැලීය.

මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා, “පෙර පැවති කිසිදු රජයක් මෙම ගැටලුවට නිසි මැදිහත්වීමක් නොකිරීම හේතුවෙන් අද වන විට එය අර්බුදයක් බවට පත්ව තිබෙනවා” යැයි සඳහන් කළේය.

නව රජය මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳව ජනතාව ප්‍රශංසා කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මෙම අනුකමිටුව සඳහා අමාත්‍යවරුන් වන සමන්ත විද්‍යාරත්න, අනිල් ජයන්ත, වෛද්‍ය ධම්මික පටබැඳි සහ කුමාර ජයකොඩි යන මහත්වරුද සහභාගී වූහ.