ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත චීනයේ සංචාරයක යෙදී සිටිති. මේ අවස්ථාවේ චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමඟ කරන ලද සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුව අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට චීනය සූදානම් බව මහජන චීන සමූහාණ්ඩුව තහවුරු කරයි.
චීනයේ විදේශ ඇමති ලියූ ජින්තාවෝ මෙහිදී අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවයි. රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට චීනය සූදානම් වන අතර, කිසිදු රටක ස්වෛරීභාවයට හානි කරන ක්‍රියාමාර්ගවලට තම රට සම්මත නොවන බවද ඔහු සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ, මෙම වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරයේදී දෙරට සහ දෙපක්ෂ අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වූ බවයි. චීනය ගොඩ නැගීමේ ක්‍රියාවලියේදී සභාපති මාඕ සේතුං සිට ෂී ජින් පිං දක්වා චීනය කටයුතු කරන ආකාරය සතුටුදායක බවත්, චීන කොමියුනිස්ට් පක්ෂය තමන්ට ආවේනික ලෙස මාක්ස්වාදය ඉදිරියට ගෙන යාම ජයග්‍රහණයක් බවත් ඔහු සඳහන් කළේය.
මෙම සංචාරයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එම් ජගදීශ්වරන්, මාතලේ දිස්ত්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු වූහ.




