අද සමාජය තුළ දැවැන්ත බියකින් සැකයකින් ජනතාව ජීවත් වන බවත් එයට හේතුව මෙරට මිනිමරු කල්ලි, පාතාල කල්ලි, මැරවර කණ්ඩායම් ටී56න්
උණ්ඩයෙන් බෝම්බයෙන් බයිනේත්තුවෙන් සමාජය පාලනය කරන නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ආසනයේ කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පිහිටා ඇති නාකන්දපුර උදා ගම්මානයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.
පාලකයාගේ වගකීම මිනිසා ජීවත් කරවීම යි
”මේ වන විට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. කැලෑ නීතිය ක්‍රියාත්මක වෙමින් නීතිය වල්බිහි වෙලා. මිදුලේ, නිවසේ, වැඩබිමේ, මගමග, උසාවියේ පවා මිනිස් ඝාතන සිදුවෙනවා. මැරවරයන් අද සමාජයේ පාලනය අතට අරගෙන. මේ මාස කිහිපයට ඝාතන සිදුවීම් විශාල ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. පසුගිය කාලය හා සංසන්දනය කරන විට එය සාමානය තත්ත්වයක් කියල තමයි රජය කියන්නෙ. ක්‍රමයේ වෙනසක් ඇති කර මාස දෙකෙන් පාතාලය විනාශ කරනවා කියපු රජය, රටට ම ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කිව්වට දිනපතාම රටේ මිනිමැරුම් සිදුවෙනවා. පාලකයාගේ වගකීම නොහැකියාවට හේතු දක්වන එක නෙවෙයි; පාලකයාගේ වගකීම මිනිසා ජීවත් කරවීම යි.
සමගි ජන බලවේගය ජනතාව අතරට
පාලකයා ජනතාව අතරට ගොස් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු යි. ජංගම සේවා පැවැත්වීම කරන්න ඔ්නෙ විපක්ෂ නායකවරයා පමණක් නෙවෙයි. රටේ නායකයා සහ ආණ්ඩුවත් විසදුම් එක්ක ජනතාව අතරට යා යුතු යි. වත්මන් රජය එසේ ජනතාව අතරට නොයන නිසා ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ජනතාවගේ ප්‍රශ්නවලට සවන් දී ඇහුන්කම් දී ජනතාවගේ දුක කඳුළ, වේදනාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දී එම ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන ක්‍රමවේදයක් සකස් කිරිමට අද කටයුතු කරනවා.
ගමින් ගමට, උදාගමින් උදාගමට, උදා කළ ගම්මානයෙන් උදා කළ ගම්මානයට යන මේ ගමනේදී ජනතා ගැටලු හඳුනා ගෙන මෙම ගම්වල ජීවත් වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වුණා. එහි දී මාර්ග පහසුකම් ගැටලු, කෘෂිකර්මාන්තය මුහුණ දෙන ගැටලු, වාරි පද්ධති ආශ්‍රිත ගැටලු, ප්‍රාථමික පාසලේ පවතින ගැටලු, ප්‍රාදේශීය රෝහල් ගැටලු ආදී ගැටලු දහයක් සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වුණා. අපි, මෙම උදා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනා ගෙන පාර්ලිමේන්තුවේ සහ රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කර ඒවට විසඳුම් ලබා ගැනීමට කටයුතු කරනවා.”