මිද්දෙණිය පොලිස් වසමේ වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයාය කඩේවත්ත හන්දිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 19 වනදා පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ත්‍රිපුද්ගල ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරු ඝාතනයෙන් අනතුරුව පදිංචි ප්‍රදේශයෙන් පලා ගොස් දියතලාව ප්‍රදේශයේ සැඟව කටුනායක ගුවන්තොටුපොළෙන් ඩුබායි රාජ්‍ය බලාපිටව යාමට ගුවන්තොටුපළට පැමිණ සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු කටුවන අගුලන්දෙණිය පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි

උක්ත වෙඩිතැබීමෙන් 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයාත් ඔහුගේ 06 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයාද බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්විය.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මෙම පිරිසට T56 වර්ගයේ ගිනිඅවියකින් නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබිණි.

මේ වනවිට මෙම වෙඩිතැබීම සිදු කළ වෙඩික්කරු ඇතුළු 008 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන සිටී.