විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්, මෙම රැකියා අවස්ථා ලබාදෙනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත්ය.

සභාපතිවරයා විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ වෙනත් කිසිදු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර නොමැති බැවින්, මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසයි.

සභාපතිවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකදීය.

වික්‍රමසිංහ මහතා පවසන පරිදි, E-8 වීසා කාණ්ඩයට අදාළ රැකියා සඳහා නිසි කෘෂිකාර්මික දැනුමක් ඇති සුදුසුකම්ලත් පුද්ගලයින් පමණක් යොමු කෙරෙන අතර, මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණි.

“අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කොරියානු රැකියා වගේ අවම මුදලකින් රැකියාවට යොමුවෙන්න අවස්ථාව ලබාදෙන්න. පුද්ගලික කණ්ඩායම්වලට අවස්ථාව ලබාදුන්නොත් ඔවුන් විශාල වශයෙන් මුදල් අයකරනවා,” යැයි ඔහු සඳහන් කරයි.

ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් ක්‍රියාවලිය පිළිබඳව මාර්ගෝපදේශ සකස් කරන බවත්, එම ක්‍රමවේදය හා අවශ්‍ය මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය මගින් රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.