ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස ගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය හා රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය එක්ව තරග නොකරන බව වාර්තාවේ.

ඒ සඳහා හේතු වී ඇත්තේ එම පක්ෂ දෙක ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා පැවැත් වූ සාකච්ඡා දින නියමයක් නොමැතිව අවසන් වී බිඳ වැටී තිබීමය.

මෙම තත්වය මත ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂ දෙක වෙන වෙනම තරග කිරිමට නියමිත බව තවදුරටත් වාර්තාවේ.

එම සාකච්ඡාවලට සහභාගි වූ සමගි ජන බලවේගයේ නියෝජිතයකු අප කළ විමසීමකදී තහවුරු කළේ ද එක්සත් ජාතික පක්ෂය සමඟ ඉදිරි සාකච්ඡා නොමැති බව හා සිය පක්ෂය පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කරන බවයි.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට සහභාගි වූ තිස්ස අත්තනායක මාධ්‍ය හමුවක් පවත්වමින්, ඔහු තවදුරටත් එම සාකච්ඡාවලට සහභාගි නොවන බව පැවසූ අතර ඒ සඳහා හේතු ලෙස ප්‍රකාශ කළේ එම සාකච්ඡා මත පදනම්ව සිය පක්ෂයේ නායකත්වය වෙනස් කිරීමේ උත්සාහයක් පවතින බවයි.