මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, රට තුළ සිදුවන විවිධ අපරාධ හා විමර්ශන අඩපණ කිරීමේ උත්සාහයක නිරත වන පිරිසක් සිටින බවත්, ඔවුන් හඳුනාගෙන ඇති බවත් ය. එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අපරාධකරුවන් හා ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ප්‍රදානය කරන බවයි.

මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1,400 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, මෙම වසර තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් සහ කපාකොටා ඝාතන 5ක් වාර්තා වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පැවසීය. එම සිද්ධීන්ගෙන් 17ක් විමර්ශනය කර අවසන් බවත්, ඇතැම් සිද්ධීන්වලට පොලිසිය සහ ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් සම්බන්ධ වී ඇති බවත් අනාවරණය වී ඇත.

එම නිසා නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී ගිනිඅවි 75ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහභාගී වී සිටියහ.