ජීවිත තර්ජන ඇති බවට හඳුනාගත් මහජන නියෝජිතයින් සහ වෙනත් පුද්ගලයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පොලිස් හෝ විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදුකෙරේ.

එහිදී, අදාළ පුද්ගලයාට ආරක්ෂාව සැලසිය යුතු ද? යන්න පිළිබඳව විශ්ලේෂණයක් සිදු කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දී තිබූ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් ඇති වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක පසුගිය දා තවත් හිටපු අමාත්‍යවරයෙකුට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

‘ඔබතුමාලාට නැති ආරක්ෂාවක් ටිරාන් අලස්ට ඇයි?’

පසුගිය අඟහරුවාදා (පෙබ: 11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට දී ඇති ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

එහිදී, මාධ්‍යවේදියෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසුවේ, “ඔබතුමාලාටවත් නැති එස්.ටී.එෆ්. ආරක්ෂාවක් ටිරාන් අලස්ට දී ඇත්තේ, කුමන හේතුවක් මත ද?” යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව ජීවිත තර්ජන ඇති බවට විශ්වාස කෙරෙන පුද්ගලයින් සඳහා ආරක්ෂාව ලබා දෙන බව ය.

‘ටිරාන්ගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ 19ක්’

හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් 19 දෙනෙකු යොදවා ඇතැයි ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යේෂ්ඨ නිලධාරීවරයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය.

  • පොලිසියේ ආයතනික ව්‍යුහය උඩුයටිකුරු වෙයි

ඔහු පැවසුවේ, ටිරාන් අලස් සමග ම භටයින් 7 දෙනෙකු තබා ඇති බවත්, නිවාස සහ වෙනත් ස්ථානවල ආරක්ෂාව සඳහා තවත් 12 දෙනෙකු යොදවා ඇති බව ය.

ඒ අනුව, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් භටයින් 19 දෙනෙකු යොදවා ඇතැයි එම නිලධාරියා පැවසීය.

“ටිරාන් අලස් ඇමති ධූරය දරන කාලයේ ඉඳලා ම ආරක්ෂාව දීලා තිබුණා. ඒ කාලේ පාතාල සාමාජිකයින්ගෙන් එහෙම තර්ජන තිබුණා මං හිතන්නේ. ඒ නිසා ඉහළින් ලැබුණු උපදෙස් මත තමයි ආරක්ෂාව දීලා තියෙන්නේ,” ඔහු වැඩිදුරටත් පැවසීය.

තමන්ට පාතාල සාමාජිකයින්ගෙන් තර්ජන ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී ඇතැයි 2023 මැයි 22 වන දා හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය.

‘මගේ ආරක්ෂාවට දැන් ඉන්නේ 6 දෙනයි’ – ටිරාන් අලස්

“දැන් මගේ ආරක්ෂාවට ඉන්නේ එස්.ටී.එෆ්. එකේ හය දෙනෙක් විතරයි. මේ ආණ්ඩුව ආවට පස්සේ ආරක්ෂකයින් ගණන 6කට අඩු කළා. මට විතරක් නෙවෙයි මගේ ගෙදර අනික් සාමාජිකයින්ටත් ආරක්ෂාව දෙන්න කියලා බුද්ධි අංශ වාර්තාවලින් අනතුරු අඟවලා තිබුණා,” හිටපු අමාත්‍ය ටිරාන් අලස් බීබීසී සිංහල සේවයට පැවසීය.

මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය

ආනන්ද
ඡායාරූප ශීර්ෂ වැකිය,මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, ජීවිත තර්ජන සම්බන්ධයෙන් මාස හයකට වරක් සිදු කරන විශ්ලේෂණ හරහා ආරක්ෂාව අවශ්‍ය පුද්ගලයින් කවුරුන් ද යන්න සොයා බලන බව ය.

“සමහර අය සම්බන්ධයෙන් ඇසෙස්මන්ට් කරන්න කියල තියෙනවා. ආරක්ෂාව සපයන්න අවශ්‍ය නැති අය ඉන්නවා නම් ඒකෙදි තීරණය කරනවා. මාස හයෙන් හයට ඒ විශ්ලේෂණ කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. අනවශ්‍ය අයට දීලා තියෙන ආරක්ෂාව ඔක්කොම අයින් කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා,” අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ ය.

“ආරක්ෂාව පිළිබඳව තීන්දු කරන්නේ ආරක්ෂක විශේෂඥයෝ. ඔවුන් තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණ කරනවා. යම් කෙනෙක් ඉල්ලීමක් කළොත් ආරක්ෂාව සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කරලා අදාළ පියවර ගන්නවා. ඒ වාර්තා අනුව ආරක්ෂාව දිය යුතු ද?, කොපමණ ආරක්ෂාවක් දිය යුතු ද? දීලා තියෙන ආරක්ෂාව වැඩි ද? මදි ද? කියන කාරණා සලකා බලනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ටිරාන් අලස්ගේ ජීවිත තර්ජන සම්බන්ධයෙන් ද යළි සමාලෝචනයක් සිදු කරන බව ය.

(BBC)