සමගි ජන බලවේගයේ රට ගොඩනගන දස වැදෑරුම් මතවාදය ඊයේ (13) කොළඹ දී එළි දැක්විණ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙය ඉදිරිපත් කළේ පක්ෂ සාමාජිකයන් සමග පැවැති වැඩමුළුවක දී ය.
2025 අයවැය කේන්ද්‍ර කර ගෙන පැවැති මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියහ. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පවතින බංකොලොත්භාවයෙන් රට ගොඩගැනීම සඳහා සමගි ජන බලවේගය සතු දස වදෑරුම් මතවාදය පැහැදිලි කරන ලදී.
පහළින් ඉහළට සහ ඉහළින් පහළට ගලා ගෙන යන කරුණු, තොරතුරු සහ දත්ත කේන්ද්‍රීයව මෙම ප්‍රතිපත්ති නිර්මාණය කළ බවත්, මේ මූලික ප්‍රතිපත්ති කාලානුරූපව යුගයට ඔබින ආකාරයට සකස් කර ඇති බවත්, මෙම ප්‍රධාන මූලධර්ම තුළ යම් යම් සංශෝධන කළ හැකි අතර මෙහි නම්‍යශීලීත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ එම කරුණු 10 මෙසේ ය.
01. රටක දියුණුවට අවශ්‍ය වන්නේ මානුෂීය ධනවාදයයි
‘‘රටක ඉලක්කය වන්නේ ප්‍රගතිය දියුණුව සංවර්ධනය සහ සෞභාග්‍ය යි. රටක පැවැත්මකට ධනය අවශ්‍ය යි. මේ ධනය උත්පාදනය කරන ක්‍රමවේද විවිධ න්‍යායන් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල් පිළිගත් ප්‍රායෝගිකව සාර්ථක වූ ක්‍රමවේද වන්නේ සමාජ වෙළෙදපොළ, නිදහස් වෙළෙදපොළ ආර්ථිකය සහ මානුෂීය ධනවාදය යි. මේ ක්‍රමවේදවලට අමතරව වෙනත් කිසිදු විකල්ප නැහැ. බොහෝ විකල්ප ක්‍රමවේද අසාර්ථක වී ආර්ථික නටබුන් වී තිබෙනවා. ධනය උත්පාදනය කරන්නට රාජ්‍යට වඩා පෞද්ගලික ව්‍යවසායට ඉඩක් ලබා දිය යුතු යි. පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා උත්පාදනය වෙන ධනය ජාතික නිෂ්පාදන ධාරිතාව නිර්මාණය කරනවා.
රජයට සාර්ථක ව්‍යාපාර කළ නොහැකි යි. ව්‍යාපාර කරන්න හොදම ක්‍රමය පෞද්ගලික ව්‍යවසාය යි. එහි දී ජාතික ආරක්ෂාව, සෛරීභාවයට මුල්වූ අදහස් කේන්ද්‍ර කර ගෙන යම් යම් කොටස්වල එනම් ඉන්ධන බලශක්ති ආරක්ෂාව ආදී අවදානම් කොටස් ක්‍රියාත්මක කිරීමේ දී රජයේ මැදිහත්වීම අවශ්‍ය යි. මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය වෙනවා. මේ හරහා සමාජයේ බෙදීම් ඇතිවෙනවා. ඇති හැකි ප්‍රජාව තවත් ඇති හැකි වීමත් නැතිබැරි ප්‍රජාව නැතිබැරි භාවයේ පහළට ගලා යාමත් සිදුවෙනවා. එම නිසා මානුෂීය ධනවාදය හරහා ධනය උත්පාදනය කර එම ධනය සමාජ අසමතුලිතතාව නැති කර සමබරතාව ඇති කිරීමට සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය යි.’’
02. පුළුල් මානුෂීය ධනවාදී ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කළ හැකියි
‘‘සංගණනවලදී නාගරික ග්‍රාමීය හා වතු යන කොටස් 3ක් තිබෙනවා. බංකොලොත් අප රටේ ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය ක්‍රියාත්මක කරන්න තවමත් අසමත් වෙලා. බංකොලොත් රටක වගකීම බාර ගන්න විට කළ යුත්තේ එය යි.. 2016 හා 2019 කාලය දෙස බලන විට 2016 ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව සමාජයේ පොහොසත්ව 20%ක මුළු ආදායමෙන් 51%ක් සහ දුප්පත් 20%ට 5%ක් පමණයි ලැබෙන්නෙ.
2019 සමීක්ෂණයට අනුව පොහොසත්ව 20%ට ලැබුණු මුළු ආදායම 51.4% දක්වා වැඩි වන විට දුප්පත් 20% ප්‍රතිශතය 5% සිට 4.6% දක්වා අඩු වෙලා.
යහපාලන කාලයේ ආර්ථිකය වර්ධනය වී යම් ප්‍රගතියක් තිබුණත් එම ප්‍රගතිය පොහොසත් අයටත් දුප්පත් අයටත් බලපෑ ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. එබැවින් පුළුල් මානුෂීය ධනවාදී ක්‍රමය තුළ සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් හරහා අසමතුලිතතා නිවැරදි කළ හැකි යි.
03. සුබසාධන රාජ්‍ය රැක ගනිමින් විකල්ප අවස්ථා සදහා යොමුවීම
ජාතික සුබසාධන රාජ්‍යයක් හරහා නොමිලේ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දිය හැකියි. මේ සුබසාධන රාජ්‍යට වැඩි වැඩියෙන් මුදල් වෙන් කරනවා සේම වෙන් කරන මුදලින් හොද ප්‍රතිලාභයක් ලැබිය යුතු යි. කාර්යක්ෂම සුබසාධන රාජ්‍යයක් සහ සපයන සේවාව ගුණාත්මකභාවයෙන් ඉහළ සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු යි. නිදහස් අධ්‍යාපනය රැක ගනිමින් නූතනවාදීත්වය නව තාක්ෂණය සහ නව ප්‍රවණතා හරහා විෂය නිර්දේශ වෙනස් කර ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළ ඉල්ලුමට සැපයුම දෙන නිදහස් අධ්‍යාපනය ඇති කරනවා සේම පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත් විකල්ප අධ්‍යාපන අවස් ථාද ලබා දිය යුතු යි.
04. ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු වීම
ආණ්ඩු කොපමණ තිබුණත් දුප්පත්කම තුරන් කරනවා කිව්වත් අස්වැසුම නිර්මාණය වුවත් අදටත් රජය දුප්පතුන් ප්‍රමාණය දන්නෙ නෑ. දුප්පතුන් ගැන ඇති පැහැදිලි දත්ත සටහන වන්නේ ලර්න් ඒෂීයා දත්ත පමණයි. එම දත්ත අනුව දුප්පත්කම රටේ ජනගහණයෙන් තුනෙන් එකක්. ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රතිඵල කේන්ද්‍රීය කාලවකවානු සහිත දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතුයි.
දුප්පත්කම ගණන් නොවන අවිද්‍යාත්මක ලෙස දත්ත මත පදනම්ව අස්වැසුම ක්‍රියාත්මක කළත් යුනිසෙෆ් සංවිධානය බහුමාන දුප්පත්කම ගැන ලියූ වාර්තාවක් හරහා අප රටේ දුප්පත්කම ගැන අදහසක් ගත හැකි යි. එම නිසා සදාකාලික යැපුම් සංස්කෘතියක නොසිට යැපුම් සංස්කෘතියෙන් බැහැර වී දේශපාලන වහල් භාවයෙන්, සහනාධාර වහල්භාවයෙන් මිදී දුප්පත්කම තුරන් කළ යුතු යි.
05. රටේ පළාත් 9ම සමබර ආර්ථික වර්ධනයක් ඇති කළ යුතුයි
රටක් ලෙස වර්ධනය වීමට අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් කරා යා යුතු යි. නිෂ්පාදන කර්මාන්ත, නව නිර්මාණ කේන්ද්‍ර කර ගත් තාක්ෂණික සංවර්ධනය, සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරීම, නව ව්‍යාපාර බිහි කිරීම තුළින් නිර්මාණය කරන ආර්ථික වර්ධනය සමබර ආර්ථික වර්ධනයක් බවට පත් කළ යුතු යි.
ශ්‍රී ලංකා මහබැංකු වාර්තාව දෙස බැලු විට රටේ සමබර ආර්ථික වර්ධනයක් නැහැ. විවිධ පළාත් දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය වෙනස්. බස්නාහිර පළාත් 41%ක් දායක වන විට ඉතිරි 59%ම සෙසු පළාත් 8ට බෙදෙනවා. මෙය නිවැරදි විය යුතු යි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 341 හරහා ම දළ දේශීය නිෂ්පාදනය ගණනය කළ යුතු යි.
06. නව තාක්ෂණයෙන් පරිපූර්ණ වූ කෘෂිකර්මාන්තයක්
කෘෂිකර්මාන්තය වැවිලි ක්ෂේත්‍රය නවීකරණය කළ යුතු යි. නෙදර්ලන්තය වැනි රටවල් අත්කර ගත් තාක්ෂණික ජයග්‍රහණ අප රට ද ලබා ගත යුතු යි.
07. වෙනස්කමකින් තොරව සෑම සියලු දෙනා ම ශ්‍රී ලාංකිකයන් ලෙස සවිබල ගැන්වීම
සෑම අතකින්ම සවිබල ගැන්විය යුතු යි. ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික ආදී ජන සමාජය ම ධනාත්මක සවිබල ගැන්වීමක් සිදු කර වෙනස්කම් ක්‍රියාත්මක නොකර සෑම ජාතියකටම ආගමකටම ජන කොට්ඨාසයකටම වටිනාකමක් ලබා දිය යුතු යි. අප හැමෝම ශ්‍රී ලාංකිකයන් ලෙස පොදුවේ හැදින්විය යුතු යි.
08. ප්‍රජාතන්ත්‍රවාදී සවිබල ගැන්වීම
මූලික අයිතිවාසිකම් පුළුල් කළ යුතු යි. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ආර්ථික සමාජීය දේශපාලන අයිතිවාසිකම් ඇති කර ව්‍යවස්ථව පුළුල් කර ප්‍රජාතන්ත්‍රවාදයට මුල්තැන ලබා දිය යුතු යි.
09 තිරසර සංවර්ධනය
පරිසර හිතකාමී පරිසර කේන්ද්‍රීය සංවර්ධනයක් කරා යොමු විය යුතු යි.
10 රටට අගයක් එකතු කරන විදේශ සම්බන්ධතා ඇති කර ගැනීම
විදේශීය සම්බන්ධතා තුළ සමබර ආකාරයට කටයුතු කළ යුතු යි. නොබැදි පිළිවෙත යන සෘණාත්මක වචනයක් භාවිත නොවන ධනාත්මක සම්බන්ධතාවක් කරා යා යුතු යි. රටට වටිනාකම් එකතු කරන අගයක් එකතු කරන සම්බන්ධතාවලට යොමුවිය යුතු යි.’’
